Header image

බුරු බබා පැනි කොමඩු කාපු හැටි

ලිව්වේ Il mondo di una povera pazza 10.30.2011

  අද උදේ වෙලාසනින් අවදිවෙලා ටිකක් නිවී සැනසිල්ලෙන් ගෙදරට වෙලා ඉන්න ගමන් අපේ මල්ලි බබා එක්කත් පැය දෙකක විතර ආගිය කතාවලින් පස්සේ මට හිතුනා මගේ පුංචි කාලේ අමතක නොවෙන සිදුවීම් කිහිපයක් ආපහු බ්ලොග් එකට ගේන්න.

   මේ කියන්න යන සිදුවීම වෙනකොට මම හිතන්නේ මට වයස හයක් වගේ ඇති. ඒ වුනාට මම බටු ඇටයකට වඩා නම් ලොකුයි වෙන්න ඕනේ. ඔය අපේ නෑයො හැමෝම අපි පොඩි කාලේ එයාලගේ ඉඩම් වල මොනවා හැදුනත් අපිට ගෙනත් දෙනවා. මම හිතන්නේ අපේ නෑ පවුල් වල වැඩියෙන්ම ආදරේට ලක්වුන ළමයි තමයි අපි. එක කාලෙක අපේ නැන්දා කෙනෙක් අපිට පැනි කොමඩු ගෙනත් දුන්නා. ඒවයේ රසට මම කොයි තරම් ආස වුනාද කියනවා නම් දැන් මට එයාලගේ ඉඩමට යන්නම ඕනේ පැනි කොමඩු කන්න. කාල විතරක් මදි ගෙදර කිහිපයක් ගේන්නත් ඕනේ.

    ( මේ කියන්නේ ඔය අද කාලේ තියෙන චූටි චූටි ගෙඩි නෙමෙයි. අඩුම එක ගෙඩියක කිලෝ දහයකට එහා ගානක් තියෙන්න ඕනේ. )
      එක සෙනසුරාද දවසක අම්මගෙන් බලෙන්ම වගේ අවසර අරගෙන ඔන්න දැන් අර කියපු නැන්දා එක්ක මම එයාලගේ ඉඩමට යන්න යනවා. ඒ කාලේ මගේ පිටේ දාගෙන යන බෑග් එකයි තව පැනිකොමඩු ගෙදර ගේන්න ලොකු බෑග් එකකුයි දාගෙන නිකම් හෙන adventure journey  එකක් තමයි මේ යන්නේ. ටිකක් දුර ගියාම කකුල් හෙම රිදෙන්න ගත්තට අපි නම් ගණන් ගනියි ඕවා. විනාඩි දහයක් යනවා ආයේ විනාඩි විස්සක් ගලක් උඩ හරි කොහේ හරි ඉඳගෙන වෙහෙස අරිනවා. කොහොමහරි සෙනසුරාද දවල් වෙද්දි අපි නැන්දාගේ ඉඩමේ.  ඒ ඉඩමේ තිබුන පළතුරු දැක්කම බුරු බබාට නිකම් මොනවද වුනා වගේ. බිම තිබුන වැල්වලට වඩා උසින් පැනි කොමඩු. කොළවලට වඩා ගෙඩි. බුරු බබාට කොච්චර සතුටු හිතුනාද කියනවා නම් ඒ ගෙඩි කිහිපයක් උඩ ඉඳගෙනත් බැලුවා. ඇයි තව පිපිඥ්ඥා ගෙඩි. බඩ ඉරිඟු, පැපොල් අම්මෝ පාට පාට පළතුරු. එතනම ඉඳගෙන ඔය හැම වර්ගෙකින්ම කෑලි කෑලි කාලත් බැලුවා.

   හවස අපි දැන් ගෙදර එන්න ලෑස්ති වෙනවා. මගේ පිටේ ගෙනියන බෑග් එකේ එක පැනිකොමඩු ගෙඩියයි අර අතේ ගෙනිච්ච අනිත් බෑග් එකට එක ගෙඩියයි තව පිපිඥ්ඥා ගෙඩියකුයි බඩ ඉරිඟුයි ඔක්කොම දැන් මම බෑග් වලට දාගෙන. බර හිතාගන්න පුළුවනිනේ. එක පැත්තක් ඉස්සුවම මම දෙකට නැමෙනවා. ඉතින් නැන්දා අහනවා චූටි මැනිකේ ඕක අරන් යන්න බෑ නේ. අපි තියලා යමු කියලා. මම අහයි ඒවා. කොහොම හරි මම මීටර් පන්සියක් විතර අරන්ආවා බෑග් එක. ඉන් එහාට නම් ගෙනියන්න බෑ.

    බොහෝම හිතේ අමාරුවෙන් එක ගෙඩියක් අයින් කරලා දැන් මම එනවා. ඒකටත් හරියන්නම නගින්න තියෙන්නෙත් කන්දක්. මම දෙකට නැමිලා බෑග් එකේ බරට තවමත්. මට දැන් හ්ම් කියාගන්න බෑ. ඉතින් නැන්දට මම ගැන දුක හිතිලා එයා මට ටිකක් දුර මගේ බෑග් එකත් ගෙනත් දෙනවා. ඊට අමතරව එයාගේ වෙනම උරයක් තිබ්බ හින්දා එයාට මගේ බඩු ගෙනියන්න බෑ. කොහොමහරි දැන් නම් අර රතුම රතු පාට පැනි කොමඩු එපා වෙලා. මොන කරදරයක්ද ඔය තරම් මහන්සි වෙලා උස්සගෙන යන්න කාටද පුළුවන්. අනික ගෙදර ගෙනිච්චත් කන්න එපා වෙලා මට දැන්.  අමාරුවෙන් බෑග් එකත් උස්සගෙන කන්ද උඩටම නැග්ගට පස්සේ තමයි මට හිතුනේ ඔය ටික. ඉතින් කන්ද උඩ ඉඳන් ඊලඟ පැනිකොමඩු ගෙඩියත් බිමට පෙරළුවා. ඒක බිම පෙරලි පෙරලි වේගෙන් බිම දිගේ පහලට ගියා. හනේ මගේ සැහැල්ලුව.  දැන් මගේ බෑග් එකේ බඩ ඉරිඟු කරල් දෙක තුනයි පිපිඥ්ඥා ගෙඩියයි විතරයි. නගින්නම්කෝ දැන් ඕන කන්දක් කියලා මාත් ගෙදර ආවා. 
  එදා ඉඳන් මට පැනි කොමඩු තිත්තම තිත්තයි. ඔය සිදුවීම මතක් වෙන හැම වෙලේම මම වීරයා වගේ පැනි කොමඩු උස්සන් එනවා මට තාමත් මැවී පේනවා.
    (මේ ළඟදි මම ගෙදර ආව වෙලාවක ඔය කියපු නැන්දා "චුටි මැනිකෙට ඕනෙ නම් පැනි කොමඩු කන්න එන්න" කීවම අපේ පොඩි අක්ක කට වහගෙන හිනා වෙනවා බලාගෙන මම "අනේ ඕන නෑ නැන්දේ" කියලා හිමීට මාරු වුනා. කොහොමත් අපේ ගෙදර අය ඇති වෙන්නම ඔය මගේ ළමා කාලේ වික්‍රමයන් හින්දා අදටත් හිනා වෙනවා.)







 ෆොටෝ ගූගල් මාමාගෙන්


























15 කමෙන්ට්ස්:

නදී said...

අපරාදේ අමාරුවෙන් හරි අරන් යන්න තිබ්බෙ.එහෙනම් අදටත් ඔයා කොමඩු කනවනේ :)

Il mondo di una povera pazza said...

දැන් මම කොමඩු කන්නේ නෑ. ඒකටත් එක්කම හරියන්න ජූස් හදලා බොනවා. හික්ස්. කනකොට ඇට තියෙනවනේ. ඒක හින්දා ලේසි ක්‍රමේට බොනවා

Roshan Herath said...

ළමාකාලයේ මතක හරිම සුන්දරයි කියලා හිතෙනවා මතක් වෙද්දි. ඒ වගේම ඒ කාලෙට ආයෙත් යන්න ඇත්නම්. දැන් තියෙන කාර්යබහුලත්වයත් එක්ක බැලුවම අපි ඉස්සර කොච්චර ලස්සන ජීවිතයක්ද ගතකරලා තියෙන්නෙ කියලා දුකකුත් නැතුවම නෙවි..

මධුරංග said...

මාත් හරිම ආසයි පැණිකොමඩු කන්න. සමහර පැති වල අය මෙවුවට කියන්නේ පත්තක්කා කියලා.රංගි ඉන්න රටේ කොමඩු ගන්න නැද්ද ?

Il mondo di una povera pazza said...

@රොශාන්,
මේ දේවල් එක්ක අතීතයට ගියාම ඒ අපිමද කියලා හිතෙන තරම්?
ඉඩ ලැබෙන වෙලාවට තාමත් මම නම් මේ වගේ මතකයන් එකතු කරගන්න උත්සාහ කරනවා ජීවිතේට.

@මධු,
තියෙනවා. රශ්නේ කාලෙට ඕනේ තරම්. ඔය පින්තූරත් මෙහේ ඒව තමයි. කොහොමත් ක්‍රේවින්ස් වලට මම අනිත් කාලවලටත් හොටෙල් එකට ඉස්සර ගෙන්න ගන්නවා කොමඩු. මගේ ප්‍රියතම බීම තමයි කොමඩු ජූස්. රශ්නේ රට වලදි ආයේ ලීටර් දෙකක් තුනකින් මෙහා නවතින්නේ නෑ.

මැණික් said...

ඔව් ගොඩක් රස්නෙ වෙලාවට කියාපු කෑම තමයි පැනි කොමඩු. ඔයා කියනව වගේ බීමක් විදියටත් මම ගොඩක් කැමතියි.
මැණික්

TG said...

රංගි ආවදෙන්කො ලංකාවට උඹ . දෙනවා එපාවෙන්නම පැණි කොමඩු මෙදාපාර

hare :-) said...

පැණි කොමඩු අපට ලැබෙන්නෙ පස්සෙ කාලෙකදි... මතක විධියට අපි පොඩිකාලෙ අපේ ගමේ කඩවල කොමඩු තිබුණේ නෑ. මම මුලින්ම කොමඩු රස බලන්නෙ මට අවුරුදු 10-12 වගේ කාලෙදි වෙන්න ඕන. නමුත් දැන්නම් ඕන තරම් කොමඩු තියෙනවනේ...

ඔය ඇට ප්‍රශ්ණෙට හොඳම විසඳුමක් තමයි ඒවත් හපල කන එක. අමුතු කිරි රහක් ඒවයෙ තියෙන්නෙ. ජූස් වලදි නම් ඒවත් ඒකට එකතු වෙනවනේ... :D

නලිනි චන්දිමා said...

පව් චුටි රංගි. ලොකු පාඩමක් ඉගෙන ගන්න ඇති එදා. :D (බූරු බබා කොමඩු කෑවා වගේ)

Podi Kumarihami said...

පැණි කොමඩු ජූස් රහයි තමයි ෆ්‍රෙශ් මිල්ක් ටිකක් එහෙම දාලා ගත්තාම. පාටත් ලස්සන වෙනවා. (මම කීවේ බීම එකේ. ) ඒත් රස්නේ කාලෙට කොමඩු ගෙඩියක් කලින් අරන්, කෑලි කපලා, ඇට අයින් කරලා, ෆ්‍රිජ් එකේ තියලා ඕනි වෙලාවට අරගෙන කන්ට. රහේ බැරුවා. පොඩ්ඩි ඉතින් ගෙදර වැඩට හරි දක්ෂයා හන්දා ඔයවගේ අමාරු දේවල් කරනවා.

අර කොමඩු කපන රෙසිපිය ඕනි නම් ඉල්ලන්ට, මගේ ලඟ තියනවා...:D

'රංගිත්' කරලා තියන ජාති මං මේ කල්පනා කලේ.

Observer said...

අනේ පව් බූරු බබා

Il mondo di una povera pazza said...

@ මැනික්, ඔව් රශ්නෙ එක්ක ඊට වඩා දෙයක් නෑ.

@ මනෝ, අන්න එහෙම වරෙන් මචන්. උඹ මට කොමඩු දවසට ගෙඩි දහය ගානේ අරන් දීපන්. මම එපා කියයිද බලන්න.

@හරේ,
මට එහෙම කෑවම පොඩි ලෙඩක් එනවනේ. ඒක හින්දා ඇට එක්කම බ්ලෙන්ඩර් කරන්නේ. මතකද අපේ ජූස් බීම. ඔයාලා කොල පාට ඒවත් අරන් ආවේ.
ඔව් ඉස්සර මම මේ කියන කාලේ ඕවා කොමර්සල් වෙලා තිබ්බේ නෑ හරේ. අර වගේ ඉඩම් වල වගා කරපු අය විතරයි ඕවා කෑවේ. ඒ කාලේ ඔය කතරගම පාරේ යනකොට අඩු ගණන්වලට විකුනන්න තියෙනවා මතකයි.

@නලිනි,
බුරු බබා පොඩි කාලේ නම් අම්මෝ. එයා පවු නෙමෙයි උල තියන්න ඕනේ වැඩ කලේ. අපේ අම්මා හොඳ හින්දම හොඳයි. පොඩි කාලේ මගේ ඉහට උඩින් කොකෙක්වත් ගියේ නැද්ද කොහෙද.

@පොකු,
අපොයි මම පොඩි කාලේ කරපු තරම් වික්‍රමයන් කීවොත් ඔයාලා උඩ යයි. මම හිතන්නේ මම කලින් ඉඳිකටු බෙහෙත් කතාවකුත් ලීවා වෙන්න ඕනේ. අපේ නෑයෝ ගෙදර අය තාමත් මම දැක්ක ගමන් ඕවා කියනවා.
http://burubabe.blogspot.com/2010_02_01_archive.html
http://burubabe.blogspot.com/2010/08/blog-post_28.html

Il mondo di una povera pazza said...

@ observer,
හික්ස්. පවුම පවු.

බස්සා said...

බූරැ බබා පව් අප්පා....අර නරියටත් උනේ ඍය වගේ වැඩක්ලු නේද ? හිකස්...

Il mondo di una povera pazza said...

@බස්සා, නරියා මිදි තිත්තයි කියලා කෑවේ නෑ නේ. බුරු බබා නම් විකල්පයකට ගියා. හික්ස්.