ඊයේ ගෙදරට කෝල් කල වෙලාවේ අපේ කිරි අම්මලගේ ඉඩම් වලට අලියෝ ඇවිත් කියලා පොඩි අක්කා කීවම මට හිතා ගන්න බෑ. බොරු කියන්න ඕනේ නෑනේ මම අපේ අම්මා මිය ගියායින් පස්සෙම මාමලගේ ගෙදර යන්න ඇත්තේ එකම පාරයි. ඒකත් අපේ පොඩි අක්කගේ බල කිරීමට වෙන්න ඕනේ. අනිත් එක ඔය මූනට මොකුත් නොකීවට නැති බැරි වෙලාවට උදව් නොකරපු නෑයොන්ට යාළුවන්ට මම කැමතිම නෑ. ඒක තරහක් නම් නෙමෙයි. කොටින්ම ළඟට ඇවිත් ඔය ළමයා නම් ඉතින් අපිව දන්නේ නෑ කියනකම්ම මම එයාලාව අඳුනගන්නෙත් නෑ. සමහර වෙලාවට අපි වෙනුවෙන් අයිතිවාසිකම් එයාලට තියෙන හින්දා( හරියට අපේ නංගි හරියට දුක් වින්දා මේ ළමයි හින්දා අපි තමයි ඒ කාලේ උදව් කලේ වගේ අපේ අම්මා ගැන කියන කතා ) ඉතින් මට ඒ අය ගැන ආදරයක් හිතිලාම නෑ. අපි පොඩි කාලේ අපේ ඉඩම් වලින් සෑහෙන ප්‍රමානයක් අපිට තිබ්බ ආදරේ හින්දා අයිතිකරගත්ත එයාලාව ඉතින් මම වගේ කෙනෙකුට ඔරොත්තු දෙයිද? ඒ උනාට මම වගේ නෙමෙයිනේ අපේ ගෙදර අය. එයාලා නෑ යුතුකම් ඉටු කරනවා.
අපි පොඩි කාලේ අපි හැම සිංහල අවුරුද්දකටම ගියේ කිරි අම්මලාගේ ගෙදර. එයාට ඔක්කොම කතා කලේ මාවෙල ලොකු මැනිකේ කියලා. හරිම උත්සාහවන්ත කෙනෙක්. අපේ අම්මා එයාගේ එකම දුව හින්දා කිරි අම්මගෙන් විශේශ තැනක් අපිට තිබුනා. අනික ඒ කාලේ ඔය අම්මගේ සහෝදරයින් පස්දෙනාගේ ළමයිනුත් එනවා එහෙට. සමහරක් අය ඒ ළඟපාතම ජීවත් වෙච්ච නිසා සෙල්ලම් කරන්න හෙම අපි එක්ක එකතු වෙනවා. මට වැඩි හරියක්ම මතක අපේ කිරි අම්මලගේ ගේ ඉස්සරහමයි තව වත්තේ තැන් තැන්වලයි තිබුන අඹ ගස් . ඔය ගේ ඉස්සරහාම ගහේ නම් බුරු බබාටත් නඟින්න පුළුවන්. වත්තේ තව දිවුල් ගස් තිබ්බා. කිසිම හාවක් හූවක් නැතිව අපි අප්පච්චි නැතිව මාසයක්ම එහේ හිටියේ ඔය වත්තේ තිබිච්ච ගස් ගෙඩි හින්දා කියලා නම් මේ වෙනකොට මට හොඳටම විශ්වාසයි. එක පැත්තකින් අතු ගංගාවක් හා මැදින් ඇලකුත් අනිත් පැත්තෙන් ගඟත් එක්ක ඉඩම හැම පැත්තෙන්ම වතුරෙන් වට වෙලා තිබ්බේ. මේ අපේ අම්මාගේ මහගෙදර නෙමෙයි. වගා කරන්න ඇවිත් හදා ගත්තු ගෙවල්. ඒක හින්දා ඒ තරම්ම පිළිවෙලකට තිබ්බේ නෑ කියලයි මට හිතෙන්නේ. ඒ උනාට දිගින් දිගට එක එක පැති වලට ඔය ගේ විසිරිලා තිබුනා.අපේ අත්තා හොඳ වඩු බාස් කෙනෙක් හින්දා එයාට වෙනම වඩු මඩුවකුත් තිබුනා. කුඹුරු වැඩ වලට එන මිනිස්සු හෙම කාලෙන් කාලෙට ඒ ගෙදර එක පැත්තක නතර වෙලා ඉන්නවත් එක්ක. මට මතක විදියට වහලේ තිබ්බෙත් උළු නෙමෙයි. ගෙදරින් භාගයක් විතරම වී පුරවපු ලොකු වේ වැල් වලින් වියපු පෙට්ටි තියෙන ස්ටෝර්ස් වගේ තිබුනේ. මට මතකයි අපි ඔක්කොමලා පාට පාට පන් පැදුරු වල තමයි එහේ ගියාම නිදාගත්තේත්. අපේ අත්තාගේ වඩු මඩුවේ බුරුත ලී හෙම පුරවලා තිබ්බේ ඒ කාලේ හරියට නිකම් ඔය මොරටුවේ ලී බඩු හදන තැනක වගේ. ඒ පැත්තේ හැම කෙනෙක්ම වගේ අපේ කිරි අම්මාගෙන් ගණුදෙණු කරන්න ආවා අලුත් අවුරුද්දට.
බුරු බබා ගෙදරදි නම් උදේට නැගිටින්නේ අම්මා කතා කලොත් විතරමයි ඒ කාලේ. ඒ උනාට කිරි අම්මලාගේ ගෙදර ගියාම නම් පහ වෙනකොට නැගිටලා හැමෝම එයාව දාලා දිවුල් අහුලන්න, මී මල් අහුලන්න යයි කියලා. උදේ පාන්දරින් නැගිට්ටම දිවුල් ගෙඩි ගොඩාක් අහුල ගන්න පුළුවන්. අඹ නම් අපිට බිම වැටිලා තිබුන ඒවා කන්න දුන්නෙ නෑ නේ. ඒකටත් එක්ක හරියන්නම අත්තා අඹ කඩලා ගෝනි පෙට්ටි වල දාලා ( වී තිබ්බ ඒවා) ඉදවල අපිට දෙනවා. දිවුල් නම් මට මතකයි අපි දවල් වෙලා කිරි හදලා බොනවා. මී මල් නම් වේලලා හැලප හදනවා. අදටත් මී මල් හැලප කිවුවම බුරු බබාගේ ප්‍රියතම කෑම. අපේ කිරි අම්මගේ ගෙදර ඒ කාලේ හැටියට හොලිඩේ එකකට ගියා හා සමානයි.
ඇයි තව එක මාම කෙනෙක්ගේ ගේ ළඟ වැවක් තිබුනා. බුරු බබා හා පුරා කියලා ඔරුවක ගියෙත් එහේ තමයි. නෙළුම් මල් කඩලා පීනලා නාලා රෑ වෙද්දි විතරමයි ගෙදර එන්නේ. මේ මම කියන්නේ ඔය සමනල වැව ප්‍රජෙක්ට් එක පටන් ගන්න කලින්. කිරි අම්මා එක්ක කෑම අරන් කුඹුරකට ගියත් ඒ සෙල්ලමම තමයි. එතකොට නම් කොක්කුන්ට ගල් ගහන්න තමයි තිබ්බේ. නැත්නම් ලියදි වල ඉන්න කක්කුට්ටො අල්ලලා විසි කරන්න. අපරාදේ කියන්න බෑ ඒ කාලේ බුරු බබා ඔය එක සතෙකුටවත් භය නෑ.
කාලයක් යනකොට සමනල වැව ප්‍රජෙක්ට් එක පටන් ගත්තා 82දි මම හිතන්නේ. ඒත් එක්කම අපේ කිරි අම්මලාගේ ගොඩාක් කුඹුරු වලට වතුර ලැබුනේ නෑ. සමහරක් ගොඩ ඉඩම් උඩවලව රක්ෂිතයට අහු උනා. එක එක තැන් වලින් ඉඩම් දෙනවා කීවට ඒ ලැබුන ඉඩම් කවදාවත් ඒ තිබුන ඉඩම් හා සමාන උනේ නෑ. සමහර ඒවා ලංකාවේ අනිත් කෙලවරේ. කිරි අම්මලගේ ගමේ ඇති වෙන්න ඉඩම් තිබුන නිසා එයාල අලුත් පලාතකට ගියෙත් නෑ. අදටත් ඔය ලැබුන ඉඩම් කොහේද තියෙන්නේ කියලාවත් නොදන්න තරම් අපි හැමෝම.
අපි ටික ටික ලොකු වෙද්දි ඉස්සර තරම් නෑ ගෙවල් වල යන්නත් බැරි වුනා. ඔය මාමලාගේ දරුවන්ව අපේ ගෙදර අයට කවදා හරි කාලයක විවාහ කර දෙන්න ඕන කියලා කතාවක් ඇහුන ගමන් අපේ ගෙදර කවුරුත් ඒ අයව ඇසුරට වැඩිය කැමති උනේ නෑ . අන්තිම කාලේ අපේ අම්මගේ ඉඩම් ඔක්කොම මාමලා ලියවගත්තාම අපි එහේ යන එක ඉබේම නතර වුනා වෙන්න ඕනේ. අම්මායි පොඩි අක්කයි විතරක් එහේ ගිහින් ආවා. කිරි අම්මා අපේ ගෙදර ආවා. අත්තා නම් මියදුනා මම පොඩි කාලෙම. බුරු බබා කිරි අම්මාව අන්තිමට දකින්නේ අම්මගේ මල ගෙදරදි. එවෙලේ බුරු බබා හොඳ සිහියකින් හිටියේ නැති නිසා කිරි අම්මා හිටියද කියලාවත් මතකයක් නෑ.
කොහොම හරි පස්සෙ කාලෙක දැන් අවුරුදු හයකට හතකට උඩින් බුරු බබා කිරි අම්මලගේ ගෙදර යනකොට එහෙම ගෙයක් තිබුනද කියලාවත් පෙනුනේ නෑ. එතන අපේ මාමා ලොකු ගෙයක් හදලා. ලී හෙම ඔක්කොම අර කලින් කියපු වටිනා කියන ලී. වෙන එකක් තියා එලියේ තිබ්බ උයන මඩුවෙත් හදලා තිබ්බේ වටිනා කියන ලී වලින්. අත්තලා කිරි අම්මලා කාලයක්ම මහන්සි වෙලා හොයපු හැමදේම බුක්ති වින්දේ මාමලා. ඒක දැක්ක ගමන් ඒමි නම් කිව්වේ අපිටත් ඒ වගේ ලී ටිකක් හොයා ගත්තා නම් කියලා. මට ඒ අයත් එක්ක තිබුන එකම ලින්ක් එක අපේ පොඩි අක්කා. එයා තමයි ඉතින් නංගි ඒ අම්මගේ නෑයෝනේ අපි එහේ යමු කියලා මාව එක්කගෙන යන්න අදටත් උත්සාහ කරන්නේ. මම ලංකාවට ඇවිත් ගියා කියලා ආරංචි වෙන හැම පාරම එයාලා පොඩි අක්කට කියනවලු එයා ඉතින් ආවට අපි බලන්න එවිද?. අපේ පොඩි අක්කා අනේ ඔව් එයා ආවා කියලා ගෙදර එන්නෙත් දවසයි ඒ ආවත් ලෙඩ වෙලා අනිත් පැත්තට යනවා එයාට කොහෙද මාමේ වෙලාවක් අරවයි මේවයි පටලවගෙනනේ එන්නේ කියලා මාව බේර ගන්නවා.
ඉතින් පොඩි අක්කා ඊයේ 'අපි මාමලාව බලන්න ගියා නංගී. හරි දුකයි ඉඩම් වලට අලියෝ එනවා වගා කරන හැමදේම විනාශ කරනවා. ඉස්සර වගේ නෙමෙයි එහේ දැන්. ඔයා ආවම අපි මාමලාව බලන්න යමු. එයාලා ඔයාව බලන්නත් ආසයි කිව්වා. අක්කත් කීවා ඔයා ආවමත් ආයේ යමු කියලා'. කීවම එක පාරට මම අතීතයට ගියා. ඒ ගෙවුනු මොහොතවල් එක්ක කොයි තරම් නම් දේවල් තියෙනවද අමතක කරන්න බැරි.
කිරි අම්මගෙන් අවුරුද්දට මුලින්ම ලැබුනු රුපියල් පනහා සීය, කොටු පැනපු හැටි, අහස් වෙඩි, රතිඤ්ඤා පත්තු කරපු, අද කවුද කියන්නවත් නොදන්න මාමලාගේ ළමයි , මගේ උස තරම්ම උසට වැටිච්ච කෙසෙල් කැන්, අක්කර ගනන් දිග එළවළු පාත්ති හා තව කීයක් නම් මතක තියෙනවද මේ එක්ක. හරියට අපේ එරික් හාපුරා කියලා ලංකාවට ගියාම ඒ වටපිටාව දැක්කා වගේ මටත් දැන් ආයේ මේ හැමදෙයක්ම ආපහු මතක් වෙද්දි. ඇත්තෙන්ම බුරු බබා මේ වගේ පරිසරයක හැදුනද කියලාවත් මට හිතාගන්න බෑ මේ වෙද්දි. මට දැන් ගහක් දැක්කත් අමුතු දෙයක් දැක්ක කෙනෙක් වගේ. අර පොඩි කාලේ කක්කුට්ටො අල්ලපු යකෙකුටවත් භය නැතිව හිටි බුරු බබා දැන් මැස්සෙක් දැක්කත් ආයේ ඒ පැත්තේවත් යන්නේ නැති බුරු බබා. මේක නිකම් ෆැන්ටසියක්ද කියලා හිතෙන තරම්....


9 කමෙන්ට්ස්:
ඔයාගෙ කතාවෙන් මමත් අතීතයට ගියා. මට මතක්වුනේ අත්තම්මලගෙ කුඹුරු යායයි ගල්ලගෙන ගිය ඔයයි, අපි බස් එලවපු අඹ ගහයි තමයි. ඒත් දැන් ගම්වල ඒ සුන්දරත්වය නැහැ.
මැණික්
බුරැ බබා අපුරැ චිත්‍රයක් මැව්වා මගේ හිතේ.. මට කෙලින්ට මතකෙට අවේ අප් පුංචි කාලේ ඉගෙනගත්ත කවියක්... කවියා කවුද, කාගෙද කියලා නම් මතකයක් නැහැ...
ගොඩමඩ දෙකම සරැ සාරය පලබරය
කටුරොද ගම්මාන තරමක පිටිසරය
ඒ ගම මැදින් ගලනා ගඟ මනහරය
කඩමණ්ඩිය පිහිටියේ ගම කෙළවරය
ඇත්තමට අපේ බාල කාලේ කොයිතරම් අපුරැද කියලා හිතෙනවා...
බූරු බබාට ලස්සන අතීතයක් තියනවා. මමත් ඉබේම වාගේ අතීතයට ඇදිලා ගියා වගේ දැනුනා.
පුදුම දේවල්නේ පොඩි කාලේ කරලා තියෙන්නේ. පුංචි පහේ ඊරිසියාවකුත් ආවා.
නෑයොත් හරියට ඇතුවත් බැරි, නැතුවත් බැරි කට්ටියක් කියලා කියනවනේ.
මාවෙල කියලා කිව්වේ ගලත පැත්තේ තියෙන මාවෙල ද ? අර උලපනේ හන්දියෙන් හැරියා යන්න තියෙන්නේ. එහේද ?
කොත්මලේ නෙව කට්ටිය ඉන්නේ.
නෑයො, වේයො සහ මීයො කියන්නෙ මහ එපා කරපු ජාති කියලනෙ කියන්නෙ.කොහොමත් හැමදාම එක තැන ඉන්න මිනිස්සුන්ට බෑනෙ.කාලය මැවු වෙනසක අරුමේ කියලා හිතාගෙන ඉන්න තමයි තියෙන්නෙ....
කාලෙකට පස්සෙ හිත පිරෙන්න කියෙව්වා ඔන්න. ඔයාගෙ ගමේ කතා යන්තම් අහල තිබුණට මේ තරම් සුන්දර මතකයන් රැඳුණ අතීතයක් තිබුණයි කියල කොහෙත්ම හිතුවෙ නෑ.
ඔයා මාව අත්තෙට ගෙනිහින් අතරමන් කරනවා . ඒ අස්සේ බස්සා මගේ ජීවිතේට ගොඩක් සමීප කවියකුත් දාලා . අපේ ගමෙත් අලි නාවත් ඔය දේම තමයි වුනේ . ආච්චිලා ආතලා ආදරෙන් රැක්ක යස ගස් හිතක් පපුවක් නැතුව ඔන්න අල්මාරි මේස පුටු , පරාල, ජනෙල් වේශයෙන් තාත්තගේ සහෝදර සහෝදරියන්ගේ ලොකු ගෙවල් වල බුම්මන් ඉන්නවා . දුකේ බැහැ.
@ බස්සා.
ඔය කවිය කේයස් හෙවත් සාගර පලන්සුරියගේ ''සුදෝ සුදු '' පොතෙන් . ඔයාට මගේ බ්ලොග් එකේ පොස්ට් එකක් බලන්න ඕනද ඔය ගැන ලියපු . http://nelumwila.blogspot.com/2011/07/blog-post_08.html
රන්ගි තරහ වෙන්නේ නැති බව දන්නවා ලින්ක් එක දැම්මට
@මැණික්, ඔයාට මතකද පොල්පිති හරක්. මම වැඩියම එලෙව්වේ උන් වෙන්න ඕනේ. අපේ පොඩි කාලෙයි අද අපේ රියලිටි එකයි අපේ ළමයින්ගේ අද දවසයි දැක්කම පුදුම හිතෙනවා. අද වෙනකොට ගම් වෙනස් වෙලා. ඒක දුකක්.
@ බස්සා, මම ඔයාගේ ඊ මේල් එක හෙව්වා. පස්සේ ඔයා ලංකාවේ නොවෙන නිසා අතෑරලා දැම්මා.
අන්න බින්දිගේ උත්තරේ කියලා තියෙනවා ඔය ගැන. මම දන්නේ නෑ නේ ඉතින් ඔය කතා. මම දුප්පත් බුරු බබා විතරමයි.
@ පොඩ්ඩි,
ඒකනේ. බුරු බබා හෙන ලකි ඒ කාලේ. ඒත් ඉතින් දැන් මේ දේවල් මතක් කරාම රෑට නින්ද යන්නෙ නෑ. ටිකකින් ඉහි ඉහි තමයි. මේ බ්ලොග් එක ලියපු දවසෙත් උනේ ඒක අන්තිමට.
@මධු,
නෑ මේ කියන්නේ බලංගොඩ සමනලවැව හා උඩවලවේ රක්ශිතයේ බෝඩර් එක ගැණ මල්ලි. මාවෙල නෙමෙයි. ඒ අපේ අම්මගේ ගම. මාවෙල නම් තියෙන්නේ බලංගොඩ ටවුන් එකෙන් 4 කිමි වගේ.
@දිනුක,
අපේ නෑයො හෙන පොරවල් මල්ලි. අපි නොදන්න හෙන වැඩ අපිට කරලා තියෙන්නේ. බලාගෙන ගියාම අපේ අම්මා අප්පච්චි අපිට මොකුත් කරලා නෑ. එක දවසක් මගේ නෑයෙක් මට කීව ඔයා ඔයාගේ පවුලට සලකන්නේ නෑ කියලා. මාත් උඩ ගියා. මම ඇහුවා කවුද දැන් මම නොසලකන මගේ පවුලේ අය කියලා. එතකොට මෙන්න එයා ඇයි අපි කියලා ඇහුවා. මම හිනා වෙලා ඔයාලා මගේ පවුලේ නෙමෙයි මට නම් කියලා සේෆ් වෙලා ආවා. එදායින් පස්සේ අපේ අක්කා මට බල කරන්නෙත් නෑ නෑයො බලන්න යන්න කියලා හික්ස්.
@මස්සිනා,
ඒවා මතක විතරයි හරේ. පොඩි කාලේ මම කරපු දේවල් වලින් සීයෙන් එකක්වත් ඔයාලට ලැබෙන්න නැතිව ඇති. ඒ උනාට ඉතින් මට එරික්ට වගේ ඩී එස් ප්ලේ ස්ටේසන් වී මොකුත් තිබ්බේ නෑ අප්පා. එරික් වගේ හැමවෙලේම ඔයා මට ආදරේ නෑ කියලා වලි දාගන ටිකක් වැඩිපුර අනෙත් අයගේ ආදරෙට ලක්වෙන්න විතරයි ලැබුනේ.
@බින්දි,
මේවා නිකම් දවල් හීන වගේ බින්දි දැන්.
ඉඳලා හිටලා අතීතේ රවුම් ගහලා පොඩි බබා වගේ අඬන්න විතරයි පුළුවන්.
ඉඳ හිට අතීතයට එබිලා ඒකෙ ටික වෙලාවක් ජීවත් වෙන එක සබැ සතුටක්.. වර්තමානය අමතක කරන්න ඕන එකත් විඳින්න නම්..
Post a Comment