Header image

 මම පොඩි කාලේ අපේ වත්තේ හැම තැනම ගස් තිබුනා. අදටත් ඒ තරමට වෙනසක් වෙලා නම් නෑ. ඒ උනාට ඉස්සර වගේ ඒවා අස්සේ තිබ්බ ආදරේ නම් අද වෙනකොට නෑ. ඉස්සර වගේ ඒ ගස් වල ගෙඩි හැදෙන්නේත් නෑ . සමහරවිට අපේ අම්මගේ ආදරේ නැති හින්දා වෙන්න ඕනේ. කොහොම හරි මේ කියන්නේ දෙල්කොස් ගහක් ගැන.  අද වෙනකොට අපේ වත්තේ ගහෙන් භාගයක් විතර මැරිලා ගිහින්. ඉතිරි ඒවයේ හැදෙන ගෙඩි ඔක්කොම බුරු බබාගේ නෑයො රිලව් කන හින්දා බුරු බබාට ඉඳලා හිටලාවත් දෙල්කොස් කන්න හම්බ වෙන්නේ නෑ. (එහෙමමත් කියන්න නම් බෑ වත්තේ ගස් වල ගෙඩි නැතත් බුරු බබාගේ අක්කා ඉතින් කොහෙන් හරි එයා ඉල්ලන ඉල්ලන කෑම හොයලා කන්න හදලා දෙන නිසා තාමත් වරදින්නේ කලාතුරකින්.)
 


     දෙල්කොස් අපේ වතු වල ඇරෙන්න මම දැකලා තියෙන්නේ නම් කලාතුරකින්. පේරාදෙනියේ ගාඩන්ස් වල නම් තිබ්බා ගඟක් අයිනේ. ඕක දැක්ක ගමන් අපේ මල්ලිව ගහට නග්ගලා ගෙඩියක් කඩා ගන්න මට හිතුනත් නීති විරෝදි වැඩ කරන්න බය හින්දම බොහොම දුකින් හැරිලා ආවා.(මමනේ දන්නේ ඉතින් ඇත්ත)

       මේ දෙල්කොස් වල මම නම් කෑවේ ඉදිලා බිමට වැටුනාම ඇට ටික අහුලලා ඒවා පුච්චලා. ඒ කාලේ ඉති අද වගේ ගෑස් ලිප් නෙමෙයිනේ තිබුනේ. ඉතින් අම්මා හරි කවුරු හරි කුස්සියේ කෑම හදන අස්සේ හිමිට හොරෙන් හොරෙන් ලිප ගාවට ගිහින් දෙල්කොස් ඇට ලිපට දාලා ගින්දරෙන් යට කරලා හොරෙක් වගේ පැත්තකට වෙලා ඉඳලා ඒක පිච්චුනාම බැනුම් අහ අහා හරි ගින්දරෙන් එලියට ගන්න හදද්දි කවුරු හරි හරි ඇවිත් ගානට පිළිස්සුන දෙල්කොස් ඇට බේරලා අරන් දුන්නම උණු උණුවෙන්ම කාලා කටත් පුච්චගෙන දඟලපු අවස්තා තමයි වැඩියම තිබ්බේ ඉතින්.ඒ වගේද ඉතින් ඒවයේ රහ?
 
      බොහෝ වෙලාවට අපේ අප්පච්චි මිදුලේ ලොකු ගින්දරක් හදලා ඒකේන් අපට දෙල්කොස් ඇට පුච්චලා දෙනවා. බුරු බබාලගේ ගමට නිතරම වැස්ස තියෙන නිසා ඔය වැසි දවස් වල හවසට තමයි අප්පච්චි ඔය වගේ කෑම හදලා දෙන්නේ. මතක විදියට දෙල්කොස් උයලාත් කන්න පුළුවන්. ඔය බුරු බබාල ඉතින් පොඩි කාලේ ඉඳන් කිරි හොදි බබාල නිසා මේ වගේ කෑම ආසාවෙන් කෑව බවක් තමයි මතක තියෙන්නේ.
   
       අද හවස ගෙදර ආවම පසු ගිය දවසක ඒමි ගෙනත් දීපු කස්තාන්‍යා ඇට වගයක් තියෙනවා කියලා මතක් වුනා. ඉංග්‍රීසියෙන් චෙස් නට් කියන්නේ අන්න ඒවා. පාරේ අයිනේ ලංකාවේ රට කජු විකුනනවා වගේ මෙහෙත් පුච්චලා එවෙලේම රශ්නෙන් දෙන කස්තාන්‍යා තියෙනවා. කොහෙද ඉතින් ඉස්සර වගේ නෙමෙයිනේ දැන් කොච්චර කන්න ආසා වුනත් ඇඳුම් කිළිටි වෙයි දැළි ගෑවෙයි වගේ හිතලා පාරෙදි ඕවා කන්නෙ නෑ වැඩට යනකොට එහෙම. ඉස්සර වගේ නිවාඩු දවසටත් රවුම් ගහන්නේ නැති නිසා කන්න වෙන්නෙම නැති තරම්. අනිත් එක 5€ කටදෙන්නෙත් කස්තාන්යා ඇට පහක් හයක්. ඒ වෙලාවට ඉතින් මටත් පාරේ කස්තාන්යා විකුනන්න හිතෙනවා.

       වැස්සයි කස්තාන්යා උනු උනුවෙනුයි ඉබේම ඉතින් මතක පාරේ රවුම් ගැහුවා. කොහොමත් ඒ තරම් ලොකු වෙනසකුත් නෑ පොඩි කාලේ දෙල් කොස් ඇටයි කස්තාන්‍යා ඇටයි අතර. ඉස්සර වගේ එරික් හිටියා නම් කියාවි ආන්ටි මට ගොඩාක් ඔයාට පොඩ්ඩක් කියලා. මේ දේවල් හැම එකක්ම අස්සේ හිමීට හිමීට කස්තාන්‍යා ඇට සියයක් විතරම බුරු බබා කාලානේ තනියම..
   

   
  
  ( ප/ලි

මම දෙල්කොස් ගෙඩියක් හොරකන් කරා මෙන්න මෙතනින්. )

20 කමෙන්ට්ස්:

hare :-) said...

අපේ ගෙදරත් තාත්ත නොයෙක් ගස් ජාති හිටවලා තියෙන නිසා ඔය එක එක ජාති තියෙනවා. පහුගිය දවස්වල තිබහට බිව්වෙත් ෆැෂන් ෆෘට්! කස්තාන්‍යා නම් ලංකාවෙ තියෙනවද මන්දා... ඔය කාටුන්වල නම් ඕන තරම් දැකල තියෙනවා. මට හිතෙන්නෙ කජු මදේ වගේ ඇති නේද?

Il mondo di una povera pazza said...

නෑ හරේ දෙල් කොස් වගේමයි. මේවයින් කේක් ජෑම් හා එක එක වර්ගවල පැනි රස කෑම හදනවා. පිටි වලින් තලපා වගේ කෑමකුත් හදනවා.
( දැන් දෙල් කොස් දැකලා නැති කෙනාට මම කොහොම කියනන්ද? මම මලීට නම් දෙල් කොස් ගහක් පෙන්නුවා අපේ ගමේදි. )
මෙහේ පාරේ කස්තාන්යා වික්කත් පාඩු නෑ හලෝ එනවාකෝ එහෙම ජොබ් එකක්වත් කරමු අපි?

hare :-) said...

"දැන් දෙල් කොස් දැකලා නැති කෙනාට මම කොහොම කියනන්ද?"

ඒකනේ සීන් එක...

මෙන්න මෙතන තියෙනවා පින්තූරයක්...

http://goo.gl/Khpnp

Podi Kumarihami said...

චෙස් නට්ස්වලට සිංහලෙන් කියන්නේ කස්තාන්යා ඇට කිය්න විත්තිය දැනගෙන හිටියේ නෑ. ඒක සරත් සෘතුවේදී එන සීතලත් එක්ක, අර පාට වෙනස් උනු ගස් මැදින් කකා, යන්ට පුලුවන් රස කෑමක්නේ. උනු, කෝපි එකකුත් ලඟ තිබුනා නම් ඉතින් දිව්‍ය ලෝකේ ගියා වගේ තමයි.

දෙල්කොස් වැඩේ නම් එච්චර මතකයක් නෑ. දෙල් වෙනම කාලා තියනවා. කොස් වෙනම කාලා තියනවා...:)

බස්සා said...

අපිත් ආසයි නොවැ දෙල් කොස් දැන් ඉතින් දෙලුත් නෑ කොසුත් නෑ නෙවැ....

TG said...

මට මතක්වුණේ ගස් කජු පුච්චලා කෑව කාලේ සුවඳයි මෙනේරිය වත්තේ වැට මායිම දිගේ කජු අහුලන්න යද්දි ආව කජු මල් සුවඳයි .සමහර කෑම එක්ක පුදුමාකාර විදියට අතිත මතක වලට යන්න පුලුවන් ගතියක් තියෙනවා.

සරත් ලංකාප්‍රිය said...

ගස් වැල් වල ගෙඩි හැදෙන්නේ නැත්තේ මල් ගස් වල් මල් හැදෙන්නේ නැත්තේ ඉස්සර වගේ කුරුල්ලෝ ලේන්නු ගේ ඇතුලට එන්නේ නැත්තේ අපේ අම්ම නැති හින්දයි කියල මටත් හිතෙන වාර අනන්තයි..

මාතලන් said...

මමත් අහල තිබුනට කාළා නෑ. චෙස් නට් නම් කාලා තියෙනවා. මම ආස කෑමක් තමයි ආතිශෝක්.... පින්තූරයක් එහෙම දාලා විස්තරයක් දාන්න. නොදන්න අයට දැන ගන්නත් එක්ක.

හරී - පිණිපළස said...

උදේ පාන්දර දැක්කෙ කළ බේරෙන ලිපියක්. දෙල් කොස්,, ශා ,, මම නම් කැමති දෙල් කොස් උයලා කන්න. අපේ ලොකු අම්මලගෙ දිහා ගහකුත් තියෙනවා. හැබැයි ඉතින් මම කාන්තාරෙනෙ.
ඉන්දියාවෙන් මෙච්චර කෑම එන එකේ, එන්නෙ නැහැ නෙ දෙල් කොස්. අපේ රටේ විතරක්ම හැදෙන ගහක්ද ඕක? දැං ඉතින් හූල්ල හූල්ල හිටපන්කො,, අපිට කොයින්ද දෙල් කොස් !!!!!!!!
ඉඳල වැඩක් නෑ මාතලන් අයියෙ දෙල් කොස් කාල නැත්නම්:D

පූසා said...

"කස්තාන්‍යා" මම නම් ඇහුවෙත් අදයි දැක්කෙත් අදයි

මධුරංග said...

මම නම් දෙල් වලට ආස නෑ. ඔය කාලෙට අපේ ගෙදර දෙල් ඇරෙන්න වෙන කෑමක් නෑ.

Il mondo di una povera pazza said...

@පොකු මාත් දන්නේ නෑ. මම සිංහල හා වෙන වෙන දේවල් වලට කියන ලේසි නම් තමයි පාවිච්චි කරන්නේ.
බලාගෙන ගියාම මම විතරද ආදිවාසියෙක් වෙලා ඉන්නේ. දොල්කොස් කාලා නැත්නම් ඒ රස කවදාවත් හිතාගන්න බෑ. කොටින්ම මම පොඩි කාලේ කාපු විදියටම කන්න තමයි අදටත් මම ආස. කාල ඉවර වෙලා බඩ රිදෙනවා අරහේ රිදෙනවා කීවට දිරව ගන්න බැරි උනාට අදටත් අපේ වත්තේ ගස් වල ගෙඩි වලින් එක එක හරි ඉඳලා හිටලා ලංකාවට ආවත් මම නම් කනවා.

@බස්සා, මටත් එහෙම තමයි. මම හිතන්නේ ලංකාවේ කඩ වලට දෙල් හා කොස් නම් ගෙන්වනවා මේ රට වල. ඒත් ඕවා උයන්න කවුද දන්නේ. ඒක හින්දා මම නම් ලංකාවට යනකම්ම ඉන්නවා.

@මනෝ, ඔව් ඒ අතීතයේ මතක එක්ක විතරයි මේ දේවල් අපි එක්ක බැඳිලා ඉන්නේ. ගස්කජු මම පොඩි කාලේ කෑවේ නෑ. මම හිතන්නේ ඒවයේ තෙල් හරි මොනව හරි වැටුනාම ලෙඩ වෙනවා වගේ මොකක් හරි කතාවක් හින්දා බයේ. දැනටත් වත්තේ මිනිස්සු කජු ගෙනත් දුන්නට මම වැඩිය ආසා නෑ. මේ පාර මලීගෙන් ද කොහෙද බැනුම්ත් අහගත්තා උඹ නොකෑවට අපි හරි කනවනේ කියල දුන්නා නම් ගේන්න එපෑයි මෝඩයෝ කියලා.
@ලංකාප්‍රිය, මාත් හැමවෙලේම හිතන දෙයක් ඒක. අපිටත් වඩා ගස් වලට සතුන්ට ආදරේ ඕන ඇති. අපේ නම් ගස් වලට අයිතිකාරයෝ ගොඩයි ඉස්සර. . හැබැයි ඒ ගෙඩි වලට. සුද්ධ කරලා පොහොර දාලා ඔක්කොම කරන්නේ අම්මනේ. ඒ හැමදෙයක්ම අම්මයි අප්පච්චියි එක්ක යන්න ගියානේ.

@මාතලන්, මගෙත් ආසම කෑමක් ආටිශොක්. ඒක කෙහෙල් මුව උයලා වගේ කිරට උයලා තිබ්බ මගේ යාළුවෙක් දවසක්. රසට තිබුනා.
කිව්වත් වගේ දෙල්කොස් කාල තියෙන්නේ මායි හරීයි විතරද එතකොට?

@හරී, මාත් ඉයලා කාලා තියෙනවා. ඒ උනාට බුරු බබා වැඩියම ආස ඔය අමුවෙන් පුච්චලා හෙම කන කෑම වලටනේ. මම හිතන්නේ දැන් නම් ඇට වෙනම ගන්නකම් ගෙඩි තියන්නේ නැතිව ඇති. ඉස්සර ඕවා කොමර්ශල් වෙලා තිබ්බේ නෑ ඒ කාලේ ගස් යට ඕනේ තරම් බිම ඉදිච්ච ගෙඩි වැටෙනවානේ. අනික ඉස්සරට වඩා රිලව් හෙම ඉන්න නිසා ගෙවතුවල උනත් දැන් ගහක ගෙඩියක් තියෙන්නේ නෑ.
කිව්වත් වගේ මේ දේවල් කන්න නම් පෙර පින් තියෙන්නම ඕනේ. අද එළවළු පළතුරු කියලා ලංකාවේ විකුනන්නේ කෘමිනාශක පුරවපු දේවල් විතරනේ.
සමහරවිට අපිට මේ දේවල් මේ තරමටම දැනෙන්නේ ලංකාවෙන් ඈත් වෙච්ච හින්දා වෙන්න ඕනේ. කොහොමත් මගේ මතක බොහොමයක් මීට අවුරුදු 25 කර ඉස්සර නිසා දැනෙන හැඟීම එක්ක අසරණකමක් විතරයි මට දැනෙන්නේ.
@පූසෝ,
ඔයාලා තියා අද වෙද්දි අපේ ගම්වලවත් මේවා නෑ මම හිතන්නේ. ඒ උනාට මේ වගේ රටවල නම් කස්තාන්යා ගස් වෙනුවෙන් ඇට වෙනුවෙන් සැමරුම් උලෙළවල් හිටන් තියෙනවා. ලංකාවෙන් තරම් තම්න්ගේ දේවල් අගය නොකරන වෙන කිසිම රටක් නෑ මම හිතන්නේ.

@ මධු,
ගෙම්බෝ මේ දෙල් නෙමෙයි දෙල්කොස්. ඒවා රසම රසයි. පේරාදෙණියේ හිටියා නම් අර ගඟ අයිනේ ගස් පේලියක්ම තියෙන්නේ.

හරී - පිණිපළස said...

මුං එකෙක්වත් පිං කරල නෑ අපිවගේ දෙල් කොස් කන්න !!!c :D :D :D

ඉන්දික උපශාන්ත said...

දෙල් කොස්!

යකෝ මම හිතන් හිටියෙ නොකාපු දෙයක් නෑ කියලනෙ. එක අතකට මේක මිස් නොවී තියේවියැයි. සිංහයො කවද්ද කොස් කෑවෙ!

මේ චෙස්නට් කන්න අපේ හාමිනෙත් හරි ආසයි. මෙහෙ තීන්නෙ රෝස්ටඩ් විතරයි. පුච්චගන්න විදියත් ටිකක් කියනවද නොදන්න අපිට දැනගන්නත් එක්ක.

හරී,

අපි පෙර පිණට වැල , වරකනං කාල තීනව. දෙල් කොස් කියන්නෙ ගේ (ඉන්න)අය කන කෑමක්ද?

හරී - පිණිපළස said...

@ උපශාන්ත, කරුණාකර ඔබේ ගැටලුව සරල කර ඉදිරිපත් කරන්න

Il mondo di una povera pazza said...

@ඉන්දික,

මුලින්ම පිහියකින් අර ඇට වල උඩ පැත්ත පලා ගන්න. යම්තමට. පස්සේ හිල් හිල් තියෙන පෑන් එකක් තියෙනවා නම් වඩාත් සුදුසුයි. නැතත් ප්‍රශ්නයක් නෑ.පෑන් එක තද ගින්දරේ ඇටත් එක්කම රත් කරන්න. බඩ ඉරිඟු ඇට බදිනවා වගේ. පොත්ත කළු වෙද්දි එලියට අරන් රශ්නේ පිටින්ම කන්න. අවන් එකෙත් දාගන්න පුළුවන්. ඒත් වැඩියම රස නම් මේ විදියට. ඔය පින්තූරේ තියෙන තරමට බැදුනම බුරු බබා නම් කන්නේ.

මැණික් said...

හ්ම්... ඔය කියන දෙල් කොස් ඇට රසයි තමයි. මමත් හරි ආසයි. ඒත් වැඩිපුර හොයා ගන්න නැති ඒකයි ප්‍රශ්නේ.
මැණික්

Bindi said...

අපි දෙල් කොස් කෑවේ කහවත්තේ ගියහම . මලවල කෑවා වගේ තමයි මතක ඇටත් එක්කම . දැන් ඉස්සර වගේ අටුකොස් හදන්නෙත් නැහැ නේද . නිවාඩුවට ගමේ ගියහම අටුකොසුයි යකාගහපු පොලුයි කකා අටුවෙන් බාගන්න පරණ රසවාහිනී ටිකයි උඩහ වත්තේ ආච්චිලගේ ගෙදරින් ඉල්ලගන්න චිත්‍රකතා පත්තර මිටියයි කියවන්නේ පිස්සු හැදිලා වගේ . අපොයි බුරු ඔන්න මට සේද මාවතෙන් හැරිලා ගමේ දුවන්න හිතෙනවා . වැඩක් නැහැ ආච්චි ආතා වත් පරණ ගෙදර අටුවවත් අටුකොස් වත් නැහැ දැන් .

Il mondo di una povera pazza said...

@බින්දි, ඒ අපේ රේන්ජ් එකේ තමයි. අටුකොස් මම දන්නේ නෑ. ඒත් යකා ගහපු පොල් නෙමෙයි ඔය පොල් වහලෙට දාලා අවුරුද්දක් විතර ගියාම නම් කන සිරිතක් මම දන්නවා. ඒවා හකුරු එක්ක රසම රසයි. මේ පාරත් ගෙදර ගියාම අයියා ඒවා දුන්නා.
මම හිතන්නේ ගොඩාක් අය ඒවා කන්නේ උයලා තමා. මටත් මතකයි ඒවා කිරට උයලා කනවා. මැල්ලුම් නම් කාල තියෙද මතක නෑ. අපේ වත්තේ ඉස්සර ඔය ගස් ගෙඩි වලින් භාගයක්ම ඉදිලා බිම වැටෙන නිසා ඇට පුච්චලා කන්න තිබ්බා.
මටත් මේ දේවල් නිකම් ඒ මමමද කියලා හිතා ගන්න බෑ සමහර වෙලාවට. හිටි ගමන් නට් බුරුල් වෙලා ඔය ගහක් හෙම මතක් වෙච්චි ගමන් ගෙදරට කෝල් එකක් දාලා තාම ඒවා තියෙනවද අහනවා මිසක්.

වජිරදේවි said...

දෙල් කොස් ගෙඩියක් අවශ්‍යව ඇත.. :D