කොහෙද ඉතින් මේ දවස් වල බ්ලොග් තියා ගෙදර තියෙන කෑම එකවත් කන්න වෙලාවක් නෑ නේ බුරු බබාට. ඒක ඉතින් අර කලින් දාපු සටහනෙත් මම කිව්වනේ. ඒ වුනාට මේ දවස් වල බුරු බබාට අලුත් ටෝයියෙක් සෙට් වෙලා. ටෝයියෙක්ම නෙමෙයි මේ පාර ලංකාවට ගිහින් බුරු බබා හරේ බෝයි එක්ක ගියානේ පොත් සංචාරයක්. කොටින්ම මේ බ්ලොග් ලියන මිනිස්සු මාව අන්ත අසරණයෙක් කරලා තිබ්බේ ඔය සුනේත්‍රා ගැනයි අරයා ගැනයි මෙයා ගැනයි කියලා. කොහොම හරි මේ වෙද්දි පොත් කියවන්න තරම් මගේ සිංහලත් හොඳ හින්දා වෙනදාට අනිත් අයට පොත් ගන්න ලංකාවේ පොත් කඩවලට යන මම මෙදා නම් ගියේ මම වෙනුවෙන්මයි. කොටින්ම ඒ ගමන නිවාඩු එන්නත් කලින් මලීට කිහිප පාරක්ම කියලත් තිබ්බා මාව පොත් කඩේකට එක්කන් ගිහින් පොත් අරන් දෙන්න කියලා.
කොහොමහරි ඔය ඉහල කියපු ගැහැණු ළමයා busy හින්දා මම ඉතින් හරේ බෝයි එක්ක ගියේ ගොඩගේ හෝ සරසවි යන්න වෙන්න ඕනේ. ඒත් එදා ජනවාරි මාසේට යෙදෙන හඳ පිරිච්ච දවසක් නිසා පොත් කඩ ඔක්කොම වහලා. අන්තිමට යම්තම් භාගෙට දොරවල් වහමින් තිබුන සමයවර්ධන එක තමයි අපිට පිහිටට හිටියේ.
හප්පා ඒක අස්සේ පොත් හොයන්න මට තේරුමක් තිබ්බේම නෑ. කොහෙද එහෙන් මෙහෙන් උවමනාවට එපාවට දාලා තිබ්බ පොත්. ඒත් සුනේත්‍රා හොයාගෙන ගිය ගමනේ වරදක් වුනේ නෑ. ගෙඩි පිටින්ම එතන තිබ්බ සුනේත්‍රාගේ ඔක්කොම පොත් ටික උස්ස ගත්තා ඒ විතරක් නෙමෙයි එතන හිටපු ශයාම් සෙල්වදුරෙයි, සුමිත්‍රා රාහුබද්ධ අනුලා ද සිල්වා සන්නස්ගල හා වෙඩ්ඩගේ පොතකුත් ගත්තා. කොහොමත් ඉතින් බුරු බබාට අවබෝධයක් තිබ්බේ නෑ මොන වගේ පොත් එයාට කියවන්න හැකිවෙයිද කියලා.
මතක විදියට on line ජීවිතේ බුරු බබා මුලින්ම කියවන්නේ බත්තලාංගුණ්ඩුව. ඒ කාලේ sl-unlimited එකේ පොතම ස්කෑන් කරලා දාපු ඩෝසන්ට පින් සිද්ධ වෙන්නයි ඒක කියවන්නෙත්. කොටින්ම එතනින් එහාට සංජි හා පෙපේ මට පොත් වගයක් එව්වා කොටින්ම ඒ පොත් වලට මම මොන තරම් ආදරේ වුනාද කීවොත් මගේ ජීවිතේ ලැබිලා තියෙන තෑගි වලින් හොඳම ඒවා අතරටත් ඒ පොත් අදටත් තියෙනවා.ඒත් කවුදෝ ඉල්ලගත්තමයි ඒවයින් සුනේත්‍රාගේ පොතක් ආයේ මට ලැබුනේ නෑ. තව කිහිපයක් යාළුවෙක් ඉල්ල ගත්තා ආයේ ඒවත් ලැබුනේ නෑ. එතනින් එහාට මම කිසිම ලංකාවේ කෙනෙකුට මට සිංහල පොත් තියෙනවා කියලාවත් කියන්නේ නෑ. පසු ගිය කාලවල ලංකාවට ගිය හැම වෙලේකම පෙපේගෙන් වගේම මලී ගෙන් පොත් ඉල්ලගෙන ආපහු කියවලා ඒව දීල ආවා හින්දා ඒ පොත් වුනත් හරියටම කියවන්න ලැබුනේ නෑ. කොහෙද ඉතින් ලංකාවට ගියාම මට පොත් නෙමෙයිනේ වටින්නේ මඩ වලවල්, මුහුද හා ගස් හා දේවල් නේ. ඒක හින්දා මේ පාරත් හර්ද සූත්‍රය කියවන්න බැරි වුනා ඉවරෙටම.
කොහොම හරි මේ වල් පල් වලින් කියන්න ගිය කතාව කියන්න වෙන්නේ නෑ වගේ.
මගේ බෑග් එකේ වැඩි ඉඩක් අරන් ආව සුනේත්‍රාගේ හැම පොතක් එක්කම මට ළඟ සමීපකමක් තියෙනවා වගේ. කොටින්ම කිව්වොත් මරේ ගේ, වජිර දේවි ගේ, මනෝගේ, හශිතගේ, මලී ගේ, ලිශාන් ගේ, රසීගේ, දුකාගේ බ්ලොග් අස්සේ හිටපු සුනේත්‍රාට මම ප්‍රේම කරන්න පටන් අරන්. හරියට මීට කලින් මම උමතුවෙන් හිටපු දකුණු ඇමරිකන් ලේඛකයෝ හා සමානවම මම සුනේත්‍ර එක්ක ප්‍රේමයෙන් බැඳිලා. මේ දවස් වෙනකොට ඒ උමතුව කොයි තරම්ද කියනවා නම් කීයට වැඩ ඇරිලා ආවත් ඇඳට යන්නේ පොතක් එක්ක. (සමහර වෙලාවට මහන්සියටම පොතත් එක්කම නින්ද ගිහින්. ) සුනේත්‍ර විතරක් නෙමෙයි ශෙල්වදුරෙයිටත් ආස වෙලා ඒත් ඒකේ සිංහල පොත තේරුම් ගන්න බුරු බබාට අමාරුයි. ඉතින් දැන් දවස් කීපයක් පුරා පොත් කඩ ගානේ රවුම් ගහනවා එයාව හොයා ගන්න. ඒත් මගේම අවාසනාවට මේ නගරේ ( මේ රටේම) කිසිම පොත් කඩයක සෙල්වදුරෙයි නෑ. අද නිවාඩු දවසේ නාල කරලා Feltrinelli international පවා ගිහින් හොයලත් ඒ පොත් මෙහේ විකුනන්නේ නෑ. ඒ වුනාට එක පොතකට මෙහෙන් සම්මානයක් පවා හම්බ වෙලා තියෙනවා. අන්තිමට පොත් කඩේ ලොක්කා මට කියනවා මට තේරෙනවා උඹට තියෙන උවමනාව ඕනේ නම් දවස් විස්සකින් විතර ඕඩර් කරලා ගෙන්නලා දෙන්න තමයි වෙන්නේ කියලා. ඒත් එයාම කියනවා අපිට වඩා ඉක්මනට උඹට ඕක ගෙන්න ගන්න පුළුවන් වගේනේ කියලා. ඒ වුනාට මොන විදියකින් හරි මට ඒ පොත් කියවන්න ඕනේ. මම දන්න පොත් කියවන බොහෝ බ්ලොග් කරුවන් ඒ පොත් ගැන කියපු දේවල් මට මේ සිංහල translations වලින් දැනෙන්නේ නෑ.
අද නිවාඩු දවසේ දිග නින්දකින් පස්සේ අවදි වෙලා ගේ හෙම අස් කරලා (ඔව් මාසෙකට විතර පස්සේ ගේ අස් කලේ අද තමයි) නාලා හෙම book shop පුරාම රවුම් ගහලා අන්තිමට මම ඉංග්‍රීසි පොත් ටිකක් උස්සන් ආවා. මායි මොනිකයි කතා වුනා ( අපි දෙන්න තමයි මෙහේ පොත් මාරු කරන් කියවන්නේ) අපි අපේ භාශාවට අමතරව original language එකෙන්ම හා English වලින් කියවන්න පුරුදු වෙමු කියලා. මොකද දැන් එන්න එන්නම අපි නිකම් වනචාරි වේගෙන එන හින්දා. ඉස්සර යුනි කාලේ වගේ නෙමෙයිනේ දැන් කියවන්න වුනත් පෙළඹෙන්නේ ආසම දෙයක් නම් විතරයි. අන්තිම කාලේ මම නෙට් එකෙන් වැඩිපුරම කියෙව්වෙත්. අර මගේ කරගන්න ඕනේ හින්දා ගන්න Spanish පොත් ටික නැත්නම් නොකියවපු තරම්. අපරාදේ කියන්න බෑ මොනිකා ඒකටත් එක්ක එන එන හැම පොතම ගන්න හින්දා හෝ තෑගි ඉල්ල ගන්න හින්දා ඒ බොහෝ පොත් කියවන්න මට පුලුවන්. කොටින්ම මේ පාර මොනිකා නත්තලට හැමෝගෙන්ම ඉල්ලල තිබ්බේ පොත්. මින් ඉස්සරහට මාත් එහෙමයි. කවුරු හරි මට තෑගි දෙන්න අදහසක් තියෙනවා නම් මම ඉල්ලන්නෙත් පොත්. කොටින්ම ලංකාවේ අයගෙන් නම් සිංහල පොත්. (ඔන්න ඉතින් දැන් ඉඳන් කට්ටිය මට තෑගි හෙම දෙන්න හිතාගත්තාට කමක් නෑ. :P )

















